බැන්දට පස්‌සේ ඇයි මහත් වෙන්නේ ? - SLViki

Latest

Tuesday, May 23, 2017

බැන්දට පස්‌සේ ඇයි මහත් වෙන්නේ ?


ආදරයෙන් බැඳුණු දෙදෙනකුගේ සිහින මල්ඵල ගන්නේ ඔවුන්ගේ විවාහ දිනයත් සමගය.පෙරුම්පුරාගෙන සැදී පැහැදී එදිනට ලක ලෑස්‌ති වන පෙම්වතුන් තම මංගල දිනයේ අනෙකුත් සියලු කටයුතු සූදානම් කරන අතරතුර වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ තම තමන්ගේ සිරුරේ හැඩය සහ පෙනුම මනාව සකසා ගැනීමටය. වර්තමානයේ මනාලියන් මෙන්ම මනාලයන්ද තමාගේ පෙනුම මනා ලෙස පවත්වා ගැනීම සඳහා තම කාලය, ශ්‍රමය සහ මුදල් නොපසුබටව යොදවයි. උසට සරිලන බරින් යුතුව ආහාර පාලනය කර ගනිමින් ශාරීරික ව්‍යායාම මගින් නිසි හැඩකාර සිරුරක්‌ ලබා ගැනීමට සියලු දේ කැප කරයි. ඒ අනුව තම මංගල දිනය හැඩවැඩ කර ගන්නා ඔවුන්ට ඉන්පසුව සිදුවන්නේ කුමක්‌ද?

කෙටියෙන්ම පවසතොත් ඉන්පසු වන්නේ ඒ සියලු දෙයෙහි අනිත් පැත්තය. විවාහ වී වසරක්‌ ගතවන විට එම මනාලිය සහ මනාලයා එදින දුටු ලෙස නොව හඳුනාගන්නට අපහසුවන්නට ද පුළුවන. ඒ ඔවුන්ගේ හැඩැති සිරුර ගිලිහී තරබාරු සිරුරක්‌ බවට පත්වී තිබීම නිසාය. පිරිමියා සහ කාන්තාව එක සේ තරබාරු වීම වර්තමානයේ විවාහකයන් හට පොදු වූ ලක්‍ෂණයක්‌ බවට පත්ව ඇත. මේ පිළිබඳව විද්‍යාත්මක සමීක්‍ෂණයක යෙදුණු බ්‍රිතාන්‍යයේ ආහාර පාලන උපදේශක සමාගමක්‌ වන ෆ්රෝසා සප්ලිමන්ට්‌ස්‌ ආයතනය ප්‍රකාශ කරන්නේ විවාහයෙන් පසු දෙදෙනාම තරබාරු වීම දැන් නිල වශයෙන්ම විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇති බවයි. පුද්ගලයන් 1000 ක්‌ සහභාගි කරවාගෙන කළ සමීක්‍ෂණවල ප්‍රතිඵල අනුව විවාහයෙන් වසරක්‌ ගත වන විට එම දෙදෙනාගේ බර රාත්තල් 4 කින් වැඩිවී ඇති බව පෙනී ගොස්‌ ඇත. මෙම ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂක ලී ස්‌මිත් විසින් බ්‍රිතාන්‍ය ඩේලි මේල් පුවත්පතට ප්‍රකාශ කළ ඒ පිළිබඳ යෙදුණු පරීක්‍ෂණ නිරීක්‍ෂණ හා නිගමනවල විස්‌තර මෙසේය.

ඒ අනුව තරබාරු වීමට ඇති ප්‍රධාන හේතු 3 කි. ඉන් එකක්‌ වන්නේ විවාහයෙන් අනතුරුව ගෙවන අලුත් ජීවිතය නිදහස්‌ බවින් යුතු නිසා තමන්ට කැමති ලෙසින් විවිධ කෙටි කෑම ජාති ගනිමින් රූපවාහිනිය නැරඹීමට පෙළඹීමය. ඒ සඳහා වැඩි කාලයක්‌ ගතවීම නොදැනීම සිදුවන්නකි. තෙල් සහ පැණි රස කෑම ජාති ශරීරයට කොහෙත්ම හිතකර නැත. එවැනි කෑම ගෙන ශරීරය වෙහෙස නොකර තබා ගැනීමෙන් වන්නේ ශක්‌තිය වැය නොවීම හේතුවෙන් සිරුර මහත් වීමය.

දෙවැන්න විවාහය සඳහා පෙම්වතකු හෝ පෙම්වතියක සොයා ගැනීම උදෙසා තමා ලස්‌සනට සිරුර හැඩැති ආකාරයට තබා ගැනීමට උනන්දු වුවත් විවාහය දින තමාගේ පියකරු බව ප්‍රදර්ශනය කිරීමත් සමගින් තමා ගැන සිතන්නට මැළිවේ. මන්ද තමාගේ සහකරු හෝ සහකාරිය හිමි වී තිබීමෙන් කලින් සිතූ තරම් තම සිරුර ගැන අවධානයක්‌ ගන්නේ නැති වීමය.

තෙවැන්න කාන්තාවකගේ දරු ප්‍රසූතියයි. ගැබිනි සමයේ සිරුරේ ඇතිවන වෙනස්‌ වීම් ප්‍රසූතියෙන් පසුවද කාන්තාවන්ට බලපායි. සිටියාට වඩා මදක්‌ හෝ තරබාරු වීම එහිදී සාමාන්‍ය දෙයකි. ඒ හා සමානව එම කාන්තාවන්ගේ සැමියන්ගේද ආහාර රටා වෙනස්‌ වෙයි. එහෙයින් ඔවුන්ගේ සිරුරුද මහත් වෙයි.

මෙම සමීක්‍ෂණ වාර්තා අනුව සියයට 72 ක්‌ විවාහ වීමේ අපේක්‍ෂාවෙන් තම සිරුර හැඩවත්ව තබා ගත්තත් ඉන් පසුව ඒ ගැන සිතා නැත. සියයට 82 ක්‌ විවාහයෙන් පසුව තම සිරුර මහත් වූ බවත් සියයට 54 ක්‌ විවාහයෙන් පසුව දෙදෙනාගේම සිරුරේ බර එක සේ වැඩිවී තරබාරු වූ බවත් පවසයි.

කෙසේ නමුත් ශරීරයේ බර වැඩි කර ගැනීම හා සිරුර තරබාරු කර ගැනීම කිසිවෙකුටවත් යහපත් සෞඛ්‍ය පුරුද්දක්‌ නම් නොවේ. බාහිර පෙනුමේ අලංකාරය මෙන්ම තමාගේ සිරුරේ නිරෝගීකම රැකෙන්නේද යහපත් ආහාර පුරුදු යහපත් චර්යාවන් පුරුදු පුහුණු කරගත් විටය. ෆ්රෝසා සප්ලිමන්ට්‌ස්‌ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ලී ස්‌මිත් මහතා පවසන්නේ විවාහයෙන් පසුව තරබාරු වීම වළක්‌වා ගැනීම හිතන තරම් අපහසු කටයුත්තක්‌ නොවන බවයි. සැමියා හෝ බිරිඳ යන දෙදෙනාගෙන් එක්‌ කෙනෙක්‌ තමාගේ සිරුර ගැන සෞඛ්‍ය සම්පන්න බව ගැන උනන්දු වී කටයුතු කළහොත් අනෙකාද ඊට නිරායාසයෙන්ම හවුල් වෙයි. එවිට නොදැනීම තම තමන්ගේ යහපැවැත්ම උදෙසා තමන් කැප වී කටයුතු කිරීමට පෙළඹෙයි. එකින් එක මෙසේ සිදුවෙද්දී නිරෝගී, ආකර්ෂණීය සිරුරක්‌ සමග සැපවත් ජීවිතයක්‌ ගත කිරීමට පුළුවන.

උපුටා ගැනිම-දිවයින


No comments:

Post a Comment