බුලත් විට කන්න එපා... මුඛ පිළිකා වලට ප්‍රධාන හේතුව බුලත් විට - SLViki

Latest

Tuesday, May 23, 2017

බුලත් විට කන්න එපා... මුඛ පිළිකා වලට ප්‍රධාන හේතුව බුලත් විට




ශ්‍රී ලංකාවේ පිළිකා හේතුවෙන් මරණයට පත්වන්නන් අතර වැඩි දෙනෙක් මිය යන්නේ මුඛ පිළිකාව හේතු කොටගෙනය. මෙරට පිරිමින් අතර වැඩි වශයෙන්ම ඇතිවන පිළිකා වර්ගය ද මුඛ පිළිකාව වේ.මුඛ පිළිකාව හේතුකොටගෙන දිනකට රෝගීන් දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් මිය යති. මුඛ පිළිකා බහුලව දැකිය හැක්කේ ලංකාවේ කඳුකරය ආශ්‍රිත ප්‍රදේශවලය. මුඛ පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතු වන්නේ බුලත් විට කෑම, දුම් ඉරීම, මත්වතුර බීම සහ බාබුල්, බීඩා වැනි නම් වලින් හඳුන්වන පුවක් අඩංගු නිෂ්පාදන නිතර හැපීමය.

මුඛයේ අපිරිසුදු බව, වෛරස හා දිලීර ආසාදන, අධික ලෙස හිරු එළියට නිරාවරණය වීමෙන් එහි ඇති එච්.බී කිරණ හේතුකොට ගෙන තොල්වල හෝ සෙමි පිළිකා ඇතිවීමට ද ඉඩ තිබේ.බොහෝ දෙනෙක් බුලත්විට කෑමට පුරුදුව සිටිති. එහෙත් බුලත්වල අඩංගු රසායනික ද්‍රව්‍ය ඒ තරම් සිරුරට හිතකර නොවේ.

බුලත් මල් සහ නැටිවල අඩංගු සැෆ්රෝල් රසායනිකය මිනිස් සිරුරෙහි පිළිකා ඇති කිරීමට හේතු වෙන බව මෑතදී කරන ලද පර්යේෂණවලින් හඳුනාගෙන තිබේ. අතීතයේ දී මිනිසා බුලත් විට කන විට බුලත් කොළයේ මුල සහ අග කඩා දමා කෑමට ගන්නේ පොදු ජන ව්‍යවහාරය අනුව එම කොටස්වල විෂ ඇතැයි පවසමිනි.
පුවක් ද මිනිස් ශරීරයට පිළිකාකාරකයක් වන බව මෑතදී ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කොට තිබේ. පුවක්වල ඇති රසායනික කාණ්ඩය ඇල්කොලයිඩ් නම් වේ. පුවක්වල ඇති එම රසායනිකය මුඛයේ දී සහ ආමාශයේ දී සිදුවිය හැකි රසායනික සංයෝජන හේතුයෙන් පිළිකා හැදීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය.
මුඛ පිළිකාවක් හටගත් පුද්ගලයන් ගෙන් සියයට පනහක්ම වසර පහක් ඇතුළත මරණයට පත් වෙති. බුලත් විට කෑමෙහි ඇති අහිතකර ප්‍රතිඵලය වන්නේ නිතරම මුඛය අපිරිසිදු වීමයි.


අතීතයේ බුලත් විට කෑමටත් පුවක් හා දුංකොළ භාවිතයටත් යොමු වූයේ වැඩිහිටියෝය. එහෙත් අද පාසල් යන කුඩා දරුවෝ පවා බාබුල්, බීඩා වැනි විවිධ රසකාරක සහ මත්ද්‍රව්‍ය අඩංගු පුවක් වර්ග සැපීමට පුරුදුව සිටිති. එම පුවක් වර්ග ශරීරයට බෙහෙවින් හානිකරය. ඒවායෙහි පිළිකාකාරක අඩංගුය.
එවැනි බුලත් විට සහ පුවක් පැකට් පාසල් අසල විකිණීමට ජාවාරම් කරුවෝ සැදී පැහැදී සිටිති. යහළුවෝ හෝ නුසුදුසු වැඩිහිටියෝ එවැනි අහිතකර දේට ළමයින් පොලඹවා ගැනීමට මාන බලමින් සිටිති. එහෙයින් ඔබේ දරුවාට මේ පිළිබඳ කරුණු කියාදී දැනුවත් කර සිටීම වටී.


හුණු මිනිස් සිරුරේ සෛලවලට විෂ වේ. එසේම හුණු නිසා මුඛය තුවාල වේ. හුණුවලින් අණූක පරමාණු නිකුත්වන හෙයින් ජාන විකෘතිතා ඇතිකරයි. එවිට පිළිකා හටගනී.ලෝකයේ වැඩියෙන්ම මුඛ පිළිකා සහිත රට පැපුවානිව්ගිනියාවයි. එරට වැසියෝ නිතර බුලත්විට හපති. හුණුගල්වල පිළිකා ජනක සංඝටක බහුලය. සිමෙන්තිවලට යොදන හුණු මෙන්ම, ක්‍රිස්ටලයින් සිලිකා රසායනය අඩංගු හුණු ඉතාම අහිතකරය.
දුම්කොළවල පිළිකා ජනක සංඝටක 28ක් තිබේ. දුම්කොළ හැපීමෙන් අණූක පරමාණුවක් නිදහස් වේ. එමඟින් ජාන විකෘතිතා ඇති වේ. නිකොටින්, කාබන්මොනොක්සයිඩ්, තාර රසායනිකයන්ගෙන් 69ක් පිළිකා ජනක බව දැන් සොයාගෙන තිබේ. ඒවා මුඛය, උගුර, ගලනාලය සහ මුත්‍රාශය යන ස්ථානවල පිළිකා ඇතිකිරීමට හේතුකාරක වේ.

දුම්කොළ කැඩීමට පෙර විශාල වශයෙන් කෘමිනාශක ඉසිනු ලැබේ. දුම්කොළ පදම් කිරීමේදී ද විවිධ රසායනික ද්‍රව්‍ය යොදයි. දුම්කොළ වේළීම සඳහා යොදනු ලබන දුම්ගැසීමේ ක්‍රියාදාමය ද හිතකර නොවේ. බුලත්විට කෑමේදී මිනිස් සිරුරට අහිතකර වන පිළිකාකාරක ද්‍රව්‍ය අතරින් ප්‍රධාන වන්නේ දුම්කොළය.


පූර්ව මුඛ පිළිකා
මුඛ පිළිකාවක් හැදීමට පෙර මුඛයෙහි දැකිය හැකි ලක්ෂණ පූර්ව මුඛ පිළිකා ලෙස හැඳින්විය හැකිය. ඒවා මෙසේය.
මුඛය තුළ ඉස්මතුවී පෙනෙන සුදු ලප.
මුඛය තුළ රතු හෝ සුදු ගැටිති සහිත ලප.
මුඛය තුළ රතු පැහැති මතුපිටක් ඇති ප්‍රදේශ
දිව නැමීමේ සහ මුඛය විවෘත කිරීමට අපහසුව.
එම ලක්ෂණ ඇත්නම් නොපමාව දන්ත වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබා ගත යුතුය.

මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියාව
මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියාව ද මුඛය ආශ්‍රිතව හටගන්නා දැඩි පීඩාකාරී රෝග තත්ත්වයකි. එම තත්ත්වය නොසලකා හැරීමෙන් පසුව එය මුඛ පිළිකාවක් බවට පත් විය හැකිය. මෙම රෝගයේ පූර්ව ලක්ෂණ හඳුනා ගැනීම වැදගත්ය.
ඒවා නම්,
උඩු සහ යටිතොල්වල මුඛ ශ්ලේෂ්මලය සුදුමැලි වීම.
අසාමාන්‍ය ලෙස කට දැවිල්ල, කිසිදු දුරු මිරිස් සහිත ආහාරයක් ගැනීමට නොහැකිවීම.
දිව මතු පිට තුනීවීම නිසා දිලිසෙන ස්වභාවයෙන් ගැනීම.
මුඛ ශ්ලේෂ්මලය ක්‍රම ක්‍රමයෙන් ස්වභාවයක් ගැනීම.

මුඛ ශ්ලේෂ්මල රෝගයේ රෝග ලක්ෂණ

දිව රෝල් කිරීමේ සහ ඉදිරියට නැවීමේ අපහසුතාව.කතා කිරීමේ අපහසුවමුඛය විවෘත කිරීමට අපහසු වීමතන්තු ගතවීම මඟින් ශ්ලේෂ්මල තුළ දාර ඇතිවීම.

මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියාව මුඛ පිළිකාවක් බවට පත්වීමේ සියයට 7.6ක හැකියාවක් තිබේ.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වයස අවුරුදු තිස් පහට වැඩි ජනගහනයෙන් දහසකින් 2-5 දෙනකු පමණ මෙම රෝගයෙන් පීඩා විඳිති. අවාසනාවන්තම තත්ත්වය වන්නේ එම රෝගයෙන් පීඩා විඳින ළාබාලතම ලාංකිකයාගේ වයස අවුරුදු දෙකහමාරක් පමණ වීමය. නිතර බුලත් කන පිරිසක් ගැවසෙන නිවෙසක බිම වැටී තිබෙන පුවක් කැබලි කටේ දා සැපීමෙන් එම ළදරුවාට මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියාව හටගෙන තිබේ.

මුඛ පිළිකාව හෝ වෙනත් මුඛය ආශ්‍රිත රෝග ඇතිවීමට පෙර පහසුවෙන් ඒවා වළක්වා ගත හැකිය. ඒ සඳහා බුලත්විට කෑමේ පුරුද්ද අතහැරීම. අතහැරිමට අපහසු නම් කන වාර ගණන අඩු කිරීම, බුලත් හපන වේලාව අඩු කිරීම, බුලත් සැපීමෙන් පසු මුඛය සේදීම, දුම්කොළ පුවක් හෝ හුණු භාවිතය අඩු කිරීම නින්දට යන විට මුඛයේ බුලත් විට තබා නොගැනීම යන කරුණු අනුගමනය කිරීම වැදගත්ය.

දුම් හා මත්පැන් භාවිතය නතර කිරීම හෝ අවම කිරීම ද ඊට පිළියමකි. අලුත් එළවුළු පලතුරු සහිත සමබල ආහාර වේලක් ගැනීම හා යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු වර්ධනය කරගැනීම ද වැදගත් වේ.වසරකට වරක් දන්ත ශල්‍යවරයකු ලවා මුඛය පරීක්ෂා කරවා ගැනීම ද මුඛ රෝගවලින් වැළැකීමට උපකාරී වේ.




No comments:

Post a Comment