ඔන්න දැන් ඔයාලට බිබික්කන් හදන විදිහ තමයි කියලා දෙන්න යන්නෙ. ගොඩක් අය හිතන්නේ බිබික්කන් කියන්නේ පොල් කේක් කියල. නැහැ, මේ දෙකක්, වෙනස්කම් ගොඩක් තියෙනවා. බලන්නකෝ එහෙනම් බිබික්කන් හදන්නෙ කොහොමද කියලා..
අවශ්‍ය දේවල්
පාන් පිටි 500g
ලුණු තේ හැදි ½
වියළි ක්ෂණික යීස්ට් (Instant dry yeast) තේ හැදි 4
සීනි 200g
මද රස්නේ වතුර අඬු කෝප්ප 1
උකු පොල් කිරි අඬු කෝප්ප 1 (235ml පමණ)
ගා ගත් පොල් ගෙඩි 2ක පොල්
පැණි අඬු කෝප්ප 2 (500ml පමණ)
රටඉඳි 200g
වියළි මිදි / මුද්දරස්පලම් 50g
කජු 75g
කුඩු කර ගත් කරදමුංගු එනසාල් තේ හැදි ½
සාදික්කා කුඩු තේ හැදි ¼
කුඩු කර ගත් කරාබු නැටි තේ හැදි 1/8
කුරුඳු කුඩු තේ හැදි ½
සාදා ගන්නා ආකාරය
මුලින්ම සීනි ග්‍රෑම් 150 හෙන් තේ හැදි 2ක් පමණ මද රස්නේ වතුර අඬු කෝප්පයට දමා හොඳින් දිය කර ගන්න.
පසුව එයටම යීස්ට් ටික දමා ගෙන හොඳින් දිය කර ගෙන විනාඩි 10ක් පමණ පසෙකින් තබා ගන්න.
ඉන් පසුව පාන් පිටි ටිකට ලුණු කලවම් කර පෙනේරයකින් හලා ගෙන එයට දිය කර ගත් යීස්ට් ටික සහ උකු පොල් කිරි ටික ටික දමා හොඳින් අනා ගෙන පිටි මෝලියක් සේ සාදා ගන්න. (අවශ්‍ය නම් වතුර ටිකක් ද එකතු කර රොටි මිශ්‍රණයක පදමට අනා ගන්න.)
දැන් අනා ගත් පිටි මෝලිය පැය 1 ½ ක් පමණ පිපෙන්න තබන්න.
ඒ අතරතුර භාජනයක් ලිප තබා ගෙන එයට පැණි ටික, ඉතිරි සීනි ටික, ගා ගත් පොල් ටික, රටඉඳි, වියළි මිදි / මුද්දරස්පලම්, කජු, කරදමුංගු / එනසාල් කුඩු, සාදික්කා කුඩු, කරාබු නැටි කුඩු සහ කුරුඳු කුඩු එකතු කර ගෙන පැණි පොල් ආකාරයට සාදා ගෙන නිවෙන්න අරින්න.
පැණි පොල් මිශ්‍රණය නිවුනු පසුව එයට පිපෙන්න තබා ගත් පිටි මෝලිය එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
ඉන් පසුව සාදා ගත් බිබික්කන් මිශ්‍රණය තෙල් කඩදාසියක් දා ගත් තැටියකට දමා ගෙන නැවත පැයක් පමණ පිපෙන්න හරින්න.
අවසානයේ දී කලින් 160°C / 320°F උෂ්ණත්වයට රත් කර ගත් අවන් එකක පැය 1 - 1 ½ ක් පමණ හොඳින් බේක් කර ගන්න.
වැදගත්
මෙහිදී පැණි විදියට පොල් පැණි, සීනි පැණි හෝ කිතුල් පැණි වලින් එකක් භාවිතා කළ හැකියි.
බේක් නොකර වාෂ්පයෙන් තම්බා ගන්නත් පුළුවන්. (ඔබ බිබික්කන් මිශ්‍රණය දමා ගන්න තැටියේ හැඩය, දිග, පළල හා උස / ඝනකම අනුව තැම්බෙන්න යන වෙලාව වෙනස් වෙනවා. ඉරටු කැබැල්ලක් මැදට ගසා ගෙන තැම්බිලාද කියලා බලලා පරික්ෂා කර ගන්න පුළුවන්.).....
No comments:
Post a Comment