විශේෂ අවස්ථාවක් රස ගන්වන විශේෂ කෑම වේලක්(සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් ,විකී බාස්කට්,චිකන් කුරුමා,මැලේ අච්චාරු ,සලාද කොල සලාදය) - SLViki

Latest

Monday, February 6, 2017

විශේෂ අවස්ථාවක් රස ගන්වන විශේෂ කෑම වේලක්(සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් ,විකී බාස්කට්,චිකන් කුරුමා,මැලේ අච්චාරු ,සලාද කොල සලාදය)


ජීවිතයේ විශේෂ අවස්ථාවන් බෙදා ගන්න අපේ නිවසට එන අමුත්තන්ට පුළුවන් ඉස්තරම්ම විදිහට සලකන එක තමයි ශ්‍රී ලාංකික අපේ සිරිත. කෑමෙන් බීමෙන් ඒ එන අයට සංග්‍රහ කරන්නත් අපේ කිසිම ලෝබකමක් නැහැ. ඉතින් ඒ වගේ විශේෂ අවස්ථාවක් වෙනුවෙන් අපිව බැහැ දකින්න එන නෑදෑ හිත මිතුරන්ගේ හිත පුරවන්න පුළුවන් විදිහේ රසම රස විශේෂ ආහාර වේලක් සාදන්නේ කොහොමද කියායි මේ ලිපියෙන් අපි ඔබට කියන්නට යන්නේ.

සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය,

බාස්මතී හාල් කෝප්ප 02
වතුර කෝප්ප 03
කජු ග්‍රෑම් 100
මුද්දරප්පලම් ග්‍රෑම් 50
ග්‍රීන් පීස් ග්‍රෑම් 50
ඉස්සන් ග්‍රෑම් 250
කොටු කපා ගත ළූණු ගෙඩි 02
කරාබු නැටි 02
කුරුඳු අඟලේ කැබලි 01
සේර අඟලේ කැබලි 01
කහකුඩු තේ හැඳි ½
ලුණු
මාගරින් ග්‍රෑම් 100

සාදන ක්‍රමය,

භාජනයකට මාගරින් ග්‍රෑම් 50ක් දමා අඩු ගින්දරේ රත්කර එයට හාල්, ලුණු කුඩු,කහ කුඩු, කුරුඳු පොතු, කරාබු නැටි හා වතුර දමා බත හොඳින් පිස ගන්න.
වෙනත් භාජනයක් ලිප තබා එයට ඉතිරි මාගරින් ග්‍රෑම් 50 දමා ළූණු, සේර දමා බැදෙන විට ඉස්සන් දමා තරමක් බැද ගන්න
එයට කජු, ග්‍රීන් පීස්, මුද්දරප්පලම් දමා බැද පිසගත් බතට එකතු කරගන්න.

විකී බාස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය,

තම්බා ගත් බිත්තර 05
චීස් ග්‍රෑම් 100
බටර් ග්‍රෑම් 50
කලරින්
තම්බා ගත අල ගෙඩි 01
ලුණු හා ගම්මිරිස්
කැරට් තීරු ස්වල්පයක්
පාස්ලි ස්වල්පයක්

සාදන ක්‍රමය,

බිත්තර තම්බා දෙකට පලා එහි කහ මදයට චීස්, බටර්, ලුණු, ගම්මිරිස් දමා මිශ්‍රකර කුඩා බෝල සාදා ගන්න
අල පොඩි කර එයටද චීස්, බටර්, ලුණු හා කහපාට කලරින් ස්වල්පයක් දමා ගන්න
බිත්තර පලු ගෙන සාදා ගත් බෝල ඒ මත තබා හොට ලෙස කැරට් කැබැල්ලක්, ඇස් දෙක ලෙස කුඩා කැරට් කැබලි දෙකක් තබාගන්න
අල මිශ්‍රණය ස්ටා නොසලයෙන් මල් ආකාරයට තබා පාස්ලි කැබැල්ලක් ගසන්න.

චිකන් කුරුමා

අවශ්‍ය ද්‍රව්‍ය,

කුකුළු මස් කිලෝ 01
සුදු ළූණු බික් 05
වියලි මිරිස් කරල් 10
ඉඟුරු අඟලේ කැබලි 01
කුරුඳු අඟලේ කැබලි 01
කරදමුංගු කරල් 01
කහ කුඩු, මාගරින් මේස හැඳි 05
සේර අඟලේ කැබලි 01
කජු මේස හැඳි 03
බී ළූණු ගෙඩි 04
කෝන්පිටි තේ හැඳි 01
මුදවාපු කිරි ග්‍රෑම් 150
කොත්තමල්ලි කොළ තේ හැඳි 01
බැදපු තුනපහ කුඩු තේ හැඳි 02
සීනි තේ හැඳි 01

සාදන ක්‍රමය,

භාජනයකට කුකුළු මස් දමා එයට අඹරාගත් සුදු ළූණු, වියළි මිරිස්,කොත්තමල්ලි කොළ,ඉඟුරු,සේර,කුරුඳු,කරදමුංගු, කහකුඩු,ලුණු දමා පදම් වීමට අරින්න
වෙනත් බඳුනකට මාගරින් දමා ලිප තබා ළූණු දමා රන්වන් වන තුරු බැද ගන්න
මෙයට පදම් කරගත් කුකුල් මස් ද එකතු කර හොඳින් මිශ්‍ර කර ගනිමින් බැද ගන්න
දැන් මෙයට මුදවාපු කිරි, කජු,කෝන්පිටි, බැදපු තුනපහ කුඩු, සීනි එකතු කර හොඳින් කලවම් කර මස් තම්බුණ පසු ලිපෙන් ඉවතට ගන්න.

මැලේ අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය,

මාළු මිරිස් ග්රෑම් 100
බොම්බයි ළූණු ග්‍රෑම් 100
කැරට් ග්‍රෑම් 50
රට ඉඳී ග්‍රෑම් 200
ලුණු දෙහි ගෙඩි 02
ඉදුණු අන්නාසි ගෙඩි 1/4
විනාකිරි
අඹරා ගත් අබ තේ හැඳි 01
ඉඟුරු කැබැල්ලක් හා සුදු ළූණු බික් 05
මිරිස් කුඩු මේස හැඳි 01
රස අනුව ලුණු හා සීනි

සාදන ක්‍රමය,

කැරට් තීරු ලෙසද මාළු මිරිස් අඟලේ රවුම් ලෙසද, බොම්බයි ළූණු ගෙඩි 04ටද ලුණු දෙහි දිග තීරු ලෙසද කපන්න
භාජනයක් ගෙන එයට විනාකිරි දමා අඹරාගත් අබ,සුදු ළූණු,ඉඟුරු,වියළි මිරිස් කුඩු, ලුණු දමා සීනිද එකතු කර හැඳි ගාන්න
උතුරන විට කැරට්, ගම්මිරිස්, රට ඉඳි, අන්නාසි,ලුණු දෙහි දමා කලවම් කර ලිපෙන් ඉවතට ගන්න.

සලාද කොළ සලාදය,

අවශ්‍ය ද්‍රව්‍ය,

සලාද කොළ ග්‍රෑම් 100
අමු මිරිස් කරල් 02
යෝගට් මේස හැඳි 02
කොටු කපන ලද බී ළූණු 02
සිහින්ව කැපූ පාස්ලි කොළ මේස හැඳි 02
කොත්තමල්ලි කොළ මේස හැඳි 02
මෙයෝනේස් සෝස් මේස හැඳි 03
ලුණු තේ හැඳි 1 1/2
සීනි තේ හැඳි 01
ගම්මිරිස් කුඩු තේ හැඳි 01
කොටු කපන ලද තක්කාලි ගෙඩි 03

සාදන ක්‍රමය,

සලාද කොළ ලොකුවට කපන්න
එයට සිහින්ව කපා ගත අමුමිරිස්, බී ළූණු, තක්කාලි සහ ඉතිරි සියල්ල දමා කලවම් කරගන්න
රවුම් කපා ගත තක්කාලි මේසය වටේ අතුරා සාදාගත් සලාදය මැදින් තබා ගන්න.....
හදලම බලන්න.හරිම රසයි....


No comments:

Post a Comment