වෙනස්ම ආකාරයේ පුඩිං වර්ග 5ක් - SLViki

Latest

Friday, February 17, 2017

වෙනස්ම ආකාරයේ පුඩිං වර්ග 5ක්

අපි කල්පනා කළා මෙවර වෙනස්ම ආකාරයේ පුඩිං වර්ග 5ක් සාදාගන්නා ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට. 

අන්නාසි පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය,

·  අන්නාසි ගෙඩි 01 (පොතු හැර කැබලි කපාගත්)
·  ටින් කිරි 01
·  ජෙලටින් තේ හැඳි 02
·  සීනි ග්‍රෑම් 300
·  වැනිලා, කජු සහ වියලි මිදි අවශ්‍ය තරමට
සාදාගන්නා අයුරු,
·  ටින්කිරි බඳුනකට දමා එයට වතුර ටින් 2ක් එක්කර සීනිවලින් මඳක් දමා ලිප තබා උණුකරන්න.
·  පසුව මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හරින්න.
·  අන්නාසි කැබලිවලට ඉතිරි සීනි දමා ලිප තබා මිශ්‍රණය පැණි වේගෙන එනවිට ලිපෙන් ඉවතට ගන්න.
·  ජෙලටින් උණුවතුරෙන් දිය කර එයට කිරිද එක්කර අන්නාසි මිශ්‍රණයට දමා කලවම් කරන්න.
·  දැන් පුඩිම බඳුනකට දමා උඩින් කජු සහ වියළි මිදි ඉස ශීතකරණයේ තබන්න

කැරට් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය,

·  ග්‍රේටරයකින් ගා ගන්නා ලද කැරට් කෝප්ප 02
·  බටර් මේස හැඳි 1 1/2
·  සීනි ග්‍රෑම් 150
·  වියළි මිදි සහ කජු මද 25 – 30
·  දොඩම් යුෂ මේස හැඳි 02
·  විස්කෝතු කුඩු කෝප්ප 02
·  බිත්තර 01
·  බේකින් පව්ඩර් ස්වල්පයක්
·  එනසාල් කුඩු ස්වල්පයක්
·  දෙහි ලෙලි
සාදාගන්නා අයුරු,
·  බිත්තරය හොඳින් ගසාගෙන එයට එනසාල් කුඩු මිශ්‍ර කර නැවත ගසා ගන්න
·  බඳුනක් ගෙන ඉහත සඳහන් ද්‍රව්‍ය ගසා ගත බිත්තර මිශ්‍රණය හා හොඳින් මිශ්‍රකරගන්න.
·  ඉන්පසුව බටර් ගෑ තැටියක දමා වණ්ඩුවේ තම්බාගන්න

රටඉඳි පුඩිම
අවශ්‍ය ද්‍රව්‍ය,
·  ඇට ඉවත්කළ රටඉඳි ග්‍රෑම් 50
·  සීනි ග්‍රෑම් 250
·  බිත්තර 05
·  කිරි කෝප්ප 01
·  බේකින් පව්ඩර් තේ හැඳි 1/4
·  පිටි ග්‍රෑම් 250
·  සාදික්කා කුඩු තේ හැඳි 01
සාදන ක්‍රමය,
·  රටඉඳි සිහින්ව කපා ගන්න
·  පිටිවලට බේකින් පවුඩර් දමා හලා ගන්න
·  සීනි හා බිත්තර ගසා ගන්න
·  එයට මදින් මද පිටි දමමින් ගසා ගන්න
·  පවුස කිරි හා සාදික්කා කුඩු මිශ්‍ර කර ගන්න
·  බටර් ගෑ තැටියකට පළමුව රටඉඳි දමා ඒ මතට අනෙක් මිශ්‍රණය දමන්න
·  තෙල් කඩදාසියකින් වසා වාෂ්පයෙන් තම්බා ගන්න
·  අවශ්‍යනම් කජු මද ස්වල්පයක් උඩින් ඉසින්න

වට්ටක්කා පුඩිම 
අවශ්‍ය ද්‍රව්‍ය,
·  වට්ටක්කා ග්‍රෑම් 500
·  සීනි ග්‍රෑම් 150
·  මාගරින් ග්‍රෑම් 100
·  බිත්තර 01
·  බේකින් පවුඩර් තේ හැඳි 01
·  සිහින්ව කපා ගත කජු ග්‍රෑම් 100
·  ගෝල්ඩන් සිරප් මේස හැඳි 01
·  වැනිලා තේ හැඳි 1/2
සාදන ක්‍රමය,
·  වට්ටක්කා පොතු ඉවත් කර හුමාලයෙන් තම්බා ගන්න
·  සීනි සහ මාගරින් හොඳින් මිශ්‍ර කර මෙයට බිත්තර කහමදයද එක් කර ගෝල්ඩන් සිරප් දමා කලවම් කරගන්න.
·  බිත්තර සුදු මදයට ලුණු ස්වල්පයක් දමා පෙණ නගින තුරු ගසා ගන්න
·  ගසා ගත බිත්තර සුදු මදයට තම්බා ගත් වට්ටක්ක, බේකින් පවුඩර්, කජු සහ වැනිලා ද දමා හොඳින් මිශ්‍ර කර ෆැරන්හයිට් අංශක 300 උෂ්ණත්වය යටතේ විනාඩි 45ක් පමණ බේක් කර ගන්න
·  කස්ටඩ් යොදාගැනීමෙන් රසය වැඩි කර ගත හැකිය

අර්තාපල් පුඩිම
අවශ්‍ය ද්‍රව්‍ය,
·  තම්බාගත් අර්තාපල් ග්‍රෑම් 450
·  කිරි පයින්ට් 1/2 (එළකිරි, පිටි කිරි හෝ පොල් කිරි)
·  මුද්දරප්පලම් ග්‍රෑම් 100
·  කිතුල් හකුරු ග්‍රෑම් 450
·  බිත්තර 04
·  වැනිලා සහ බටර් ස්වල්පය බැගින්
සාදන ආකාරය,
·  අල හොඳින් පොඩි කර බිත්තර හා හකුරුද එක් කර හොඳින් ගසා ගන්න
·  මෙයට කිරිද එක් කර මුද්දරප්පලම් හා වැනිලා සමඟ එක්කර නැවත වරක් හොඳින් මිශ්‍ර කර ගන්න
·  බටර් තවරන තැටියක දමා වාෂ්පයෙන් තම්බා ගන්න




No comments:

Post a Comment